ඉන්දීය තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව ජාතික කොඩියට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූනෛ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. පූනෛහි නීතිඥවරයෙකු විසින් සිවාජි නගර් පොලීසියට මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නවසීලන්තය සමඟ පැවැති විස්සය විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රහණය සැමරීමේදී හර්දික් පාණ්ඩ්‍යා ජාතික කොඩියට අගෞරව වන අයුරින් කටයුතු කර ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන් වේ. සාක්ෂි ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක් ද පොලීසියට ඉදිරිපත් කර ඇති අතර, එහි ඔහු ජාතික කොඩිය සිරුරේ දවටාගෙන වේදිකාවේ වැතිර සිටින ආකාරයත්, කොඩිය ඉනෙහි ගැටගසා ගනිමින් සිය පෙම්වතිය සමඟ නර්තනයේ යෙදෙන ආකාරයත් දැක්වෙන බව නීතිඥවරයා පෙන්වා දෙයි.
මෙම ක්‍රියාවන් හරහා පාණ්ඩ්‍යා විසින් 1971 ජාතික ගෞරවයට අපහාස කිරීම වැළැක්වීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බව පැමිණිලිකාර පාර්ශවය අවධාරණය කරයි. ලෝක කුසලාන ජයග්‍රහණයේ උණුසුම මධ්‍යයේ එල්ල වී ඇති මෙම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ පාණ්ඩ්‍යා මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.














