ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ජෙෆ් බේසෝස් (Jeff Bezos), සිය ඇමසන් (Amazon) ව්‍යාපාරය ආරම්භක අවධියේදී ආයෝජකයන් සොයා යාමේදී මුහුණ දුන් අසීරුතම අත්දැකීම් පිළිබඳව අලුත් අනාවරණයක් කර තිබේ. අද වන විට දිනකට ඩොලර් බිලියන 2කට අධික ආදායමක් උපයන දැවැන්ත ව්‍යාපාරයක් වුවද, 1994 දී එය හුදෙක් අන්තර්ජාලය හරහා පොත් අලෙවි කරන කුඩා ව්‍යාපාරයක් පමණක් විය.
නිව්යෝර්ක් DealBook සමුළුවේදී අදහස් දක්වමින් බේසෝස් පවසා සිටියේ, සිය ව්‍යාපාරය සඳහා ආයෝජකයන් සෙවීමට ඔහුට රැස්වීම් 60කට සහභාගී වීමට සිදුවූ බවත්, ඉන් 40ක්ම ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත්ය. එදා ඔහු ඇමසන් සමාගමෙන් 20%ක කොටස් හිමිකාරිත්වයක් ඩොලර් මිලියන 5කට ලබා දීමට සූදානම්ව සිටියේය. එම රැස්වීම්වලදී එකල සිටි ප්‍රබල ආයෝජකයන් ඔහුගෙන් ඇසූ වඩාත්ම පුදුම සහගත ප්‍රශ්නය වී ඇත්තේ “මොකක්ද මේ අන්තර්ජාලය (Internet) කියන්නේ?” යන්නයි. එකල අන්තර්ජාලය පිළිබඳව ලෝකයා තුළ තිබූ අල්ප දැනුම එම ප්‍රශ්නයෙන් මනාව පැහැදිලි වන බව බේසෝස් පවසයි.
බේසෝස් සිය මුල් කාලීන ආයෝජකයන්ට පවසා ඇත්තේ ඔවුන්ගේ ආයෝජනය අහිමි වීමට 70%ක අවස්ථාවක් පවතින බවයි. එතරම් අවදානම් සහගතව ආරම්භ කළ ඇමසන් සමාගම අද පවතින තත්ත්වයට පත්වීමට නව නිපැයුම් කෙරෙහි දක්වන උනන්දුව හේතු වූ බව ඔහු විශ්වාස කරයි. ඔහු සේවකයන් බඳවා ගැනීමේදී පවා සලකා බලන්නේ ඔවුන් “රාමුවෙන් පිටත” සිතා ගැටලුවලට පිළිතුරු සපයන ආකාරය සහ ඔවුන් අලුතින් නිපදවා ඇති දේවල් පිළිබඳවයි.
ඇමසන් සමාගමේ මුල්ම සේවකයන් 100 දෙනාගෙන් අයෙකු වන ජෝෂුවා බර්ගින් (Joshua Burgin) පවසා ඇත්තේ, එදා සියලුම සේවකයන් සියැටල්හි එක් කුඩා කාර්යාල තට්ටුවක සේවය කළ ආකාරයයි. එදා “අන්තර්ජාලය යනු කුමක්ද?” කියා ඇසූ ලෝකයක, බේසෝස් දුටු එම දුරදක්නා දැක්ම අද වන විට ලෝකයේ සිල්ලර වෙළඳාම සහ තාක්ෂණික ක්ෂේත්‍රය මුළුමනින්ම වෙනස් කර තිබේ.















