හංගේරියාවේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් එරට අගමැති වික්ටර් ඕර්බන් (Viktor Orbán) සහ යුක්රේනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම අලුත් වටයකින් උත්සන්න වී තිබේ. යුක්රේන පාර්ශවය විසින් තමාට පමණක් නොව සිය දරුවන්ට සහ මුනුපුරු මිනිපිරියන්ට පවා මරණීය තර්ජනය එල්ල කර ඇති බවට ඕර්බන් බරපතල චෝදනාවක් එල්ල කරයි. සිය දියණියන් සමඟ දුරකථනයෙන් කතා කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ඔහු පවසා සිටියේ යුක්රේන තර්ජන පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වුවද ජනතාව ඒ පිළිබඳව බිය නොවිය යුතු බවයි.
මෙම චෝදනාවලට පදනම වී ඇත්තේ යුක්රේන බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකු විසින් ඕර්බන්ගේ රුසියානු හිතවාදී ප්‍රතිපත්තිය විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයකි. කෙසේ වුවද, හංගේරියානු විපක්ෂය සහ විචාරකයන් පවසන්නේ එළඹෙන මැතිවරණයේදී සිය ජනප්‍රියත්වය පහත වැටීම වළක්වා ගැනීම සඳහා ඕර්බන් විසින් “යුක්රේන භීතිකාවක්” (Ukraine-phobia) හිතාමතාම නිර්මාණය කරන බවයි. වසර 16ක ඕර්බන්ගේ පාලනයට එරෙහිව පීටර් මග්යාර් (Péter Magyar) ප්‍රමුඛ විපක්ෂය මේ වන විට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් සිටින අතර, ඕර්බන් උත්සාහ කරන්නේ තමා “සාමයේ අපේක්ෂකයා” ලෙස පෙනී සිටිමින් විපක්ෂය ජයග්‍රහණය කළහොත් හංගේරියාව යුද්ධයකට ඇද වැටෙනු ඇති බවට ජනතාව බිය ගැන්වීමටයි.
දෙරට අතර පවතින මෙම අර්බුදය තවදුරටත් උග්‍ර වූයේ පසුගිය සතියේ හංගේරියානු පොලිසිය විසින් යුක්රේන රජයේ බැංකුවකට අයත් සන්නද්ධ රථ දෙකක් අත්අඩංගුවට ගැනීමත් සමඟය. එහි තිබූ යුරෝ මිලියන ගණනක මුදල් සහ රන් බාර් හංගේරියාව විසින් රාජසන්තක කර ඇති අතර, එය මුදල් විශුද්ධිකරණයක් බවට හංගේරියාව චෝදනා කරයි. යුක්රේනය පවසන්නේ මෙය සාමාන්‍ය රජයේ මුදල් හුවමාරුවක් බවත්, හංගේරියාව “රාජ්‍ය ත්‍රස්තවාදයක” (State Terrorism) නිරත වෙමින් සිය නිලධාරීන් රඳවා තබාගෙන වධහිංසා පමුණුවා ඇති බවත්ය.
අප්‍රේල් 12 වැනිදා පැවැත්වෙන මැතිවරණයට පෙර ඕර්බන්ගේ රජය රුසියාව සමඟ පවතින සමීප සබඳතා තවදුරටත් තහවුරු කරමින් සිටී. යුක්රේනයට ලබා දෙන යුරෝ බිලියන 90ක ණය මුදලට සහ රුසියාවට එරෙහි සම්බාධකවලට ඕර්බන් සිය නිශේධ බලය භාවිතා කරමින් බාධා පමුණුවා ඇත. හංගේරියාව තුළ පවතින මෙම දේශපාලන අස්ථාවරත්වය සහ යුක්රේනය සමඟ පවතින දරුණු ගැටුම යුරෝපා සංගමයේ එකමුතුභාවයට ද බරපතල තර්ජනයක් වී තිබේ.














