ඉරාන යුද්ධය උත්සන්න වීමත් සමඟ ලෝකයේ වඩාත්ම තීරණාත්මක බලශක්ති ගමන් මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කිරීමට නොහැකිව තෙල් ටැංකි නෞකා 200ක් ඇතුළු නෞකා 1,000කට අධික ප්‍රමාණයක් මේ වන විට මුහුදේ රැඳී සිටින බව අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය වාර්තා කරයි. සාමාන්‍යයෙන් දිනකට බොරතෙල් බැරල් මිලියන 20ක් පමණ ප්‍රවාහනය වන මෙම සමුද්‍ර සන්ධිය හරහා දැනට සිදුවන තෙල් ප්‍රවාහනය 90%කින් පමණ පහත වැටී ඇති අතර, එය ගෝලීය බලශක්ති වෙළඳපොළට මාරාන්තික පහරක් වී තිබේ.
වත්මන් තත්ත්වය හමුවේ ඉරාන හමුදාව සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය නතු කරගෙන ඇති අතර, එය හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් ඉරාන මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාරවල ඉලක්ක බවට පත්වීමේ දැඩි අවදානමක් පවතී. දැනට මෙම මාර්ගයේ ගමන් කරන්නේ ඉරානය විසින් චීනය වෙත අපනයනය කරනු ලබන තෙල් නෞකා පමණක් බව වාර්තා වේ. අනෙකුත් සියලුම ජාත්‍යන්තර නෞකා ආරක්ෂක හේතූන් මත සිය ගමන් මාර්ග නතර කර හෝ විකල්ප මාර්ග සෙවීමට පෙළඹී ඇත.
යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉරානය විසින් මෙම මුහුදු තීරය පුරා නාවික බෝම්බ (Naval mines) ඇටවීමට සූදානම් වන බවයි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය ලෝක තෙල් වෙළඳපොළේ “නරකම සිහිනය” (Worst case scenario) බවට පත්වනු ඇති අතර, එමගින් තෙල් මිල කිසිසේත්ම පාලනය කළ නොහැකි මට්ටමකට ඉහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
– තොරතුරු උපුටා ගැනීම: Al Jazeera, Bloomberg, Reuters, Lloyd’s List සහ ජාත්‍යන්තර පුවත් සේවා ඇසුරින්.















