වසර 16කට අධික කාලයක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් ‘ලංකා ඊ නිව්ස්’ (Lanka eNews) පුවත් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතා ඇප මත මුදාහැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය. ඊයේ (11) දින කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් අත්අඩංගුවට පත් වූ ඒ මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප හිමි විය.
සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව 2016 වසරේ නොවැම්බර් 25 වනදා එවකට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. ඒ අනුව ඉන්ටර්පෝල් (Interpol) ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ එම වරෙන්තුව මත පදනම්ව ගුවන් තොටුපළ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
2010 වසරේදී ලංකා ඊ නිව්ස් කාර්යාලයට එල්ල වූ ගිනි තැබීමේ සිද්ධිය සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමෙන් පසු සඳරුවන් සේනාධීර මහතා දිවයිනෙන් බැහැරව ගොස් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිටියේය. වසර ගණනාවකට පසු ඔහු මෙරටට පැමිණ ඇත්තේ මෑතකාලීන දේශපාලන වෙනසත් සමඟ ජාතික ජන බලවේගය (NPP) වෙත සිය සහය පළ කරමින් සිටින පසුබිමක වීම විශේෂත්වයකි.














