ඉරාන යුද්ධය තවදුරටත් උග්‍ර කරමින්, පුපුරණ ද්‍රව්‍ය රැගත් ඉරාන ඩ්‍රෝන යාත්‍රා (Unmanned Surface Vessels) සහ ප්‍රක්ෂේපණ මගින් ඉරාක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේදී නෞකා 6ක් ඉලක්ක කර ඇති බව වාර්තා වේ. බදාදා රාත්‍රියේ ඉරාක මුහුදු සීමාවේදී එල්ල වූ ප්‍රහාරයකින් ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකක් ගිනිගෙන ඇති අතර ඉන් එක් විදේශීය නාවිකයෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදහන් වී ඇත.
ඉරාක වරාය නිලධාරීන්ට අනුව, මාර්ෂල් දූපත්වලට අයත් ‘Safesea Vishnu’ සහ ‘Zefyros’ යන නෞකා දෙක ඉරාකයේ සිට ඉන්ධන පටවාගෙන යාත්‍රා කරමින් තිබියදී මෙම ඩ්‍රෝන යාත්‍රා ප්‍රහාරයට ලක්ව තිබේ. මෙහි සිටි එක් ඉන්දීය ජාතික නාවිකයෙකු මියගොස් ඇති අතර සෙසු නාවිකයන් 25 දෙනෙකු බේරා ගැනීමට ඉරාක සහන කණ්ඩායම් සමත් වී ඇත. මෙම සිදුවීම ඉරාකයේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, මෙය සිතාමතා කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් එරට බලධාරීහු පවසති.
මේ අතර, ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, එම මුහුදු තීරයේ මුහුදු බිම් බෝම්බ (Sea Mines) දස ගණනාවක් තැන්පත් කර ඇති බවට වාර්තා වේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ බිම් බෝම්බ තැන්පත් කරමින් සිටි ඉරාන යාත්‍රා 28කට ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කළ බවයි. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා ඇත්තේ එම මුහුදු තීරය හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තවත් නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇත. තායිලන්තයට අයත් ‘Mayuree Naree’ නෞකාවට ප්‍රක්ෂේපණ ප්‍රහාර දෙකක් එල්ල වීමෙන් එහි එන්ජින් කාමරය තුළ නාවිකයන් තිදෙනෙකු අතුරුදහන් වී තිබේ. ජපානයට අයත් ‘ONE Majesty’ සහ මාර්ෂල් දූපත්වලට අයත් ‘Star Gwyneth’ යන නෞකාවලට ද ප්‍රහාර එල්ල වී ඇති නමුත් එහි නාවිකයන් ආරක්ෂිතව සිටින බව වාර්තා වේ. පවතින දැඩි අවදානම හේතුවෙන් නාවික ක්ෂේත්‍රය විසින් ඉල්ලා සිටින හමුදා ආරක්ෂක රැකවල් (Military Escorts) සැපයීම ඇමෙරිකානු නාවික හමුදාව මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත්තේ එමගින් ඇතිවිය හැකි අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බැවිනි.

















