අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන ‘කමාන්ඩෝ සලින්ත’ නැමැත්තා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය.
මෙම සැකකරු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේය. නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතර, එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.
කමාන්ඩෝ සලින්ත නැමැති මෙම සැකකරු, ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ‘ගනේමුල්ලේ සංජීව’ අධිකරණ විත්ති කූඩුවේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කර තිබේ. මෙම ඝාතන කුමන්ත්‍රණය සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇති අතර, ඒ පිළිබඳව සීඅයිඩිය තවදුරටත් පුළුල් විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














