2026 වර්ෂය සඳහා වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැකැත් සම්පාදනය කිරීම සඳහා මෙවර පාර්ශව දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් ඇති වූ යම් යම් මතභේද නිසා, නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීම මෙතෙක් ප්‍රමාද වී තිබුණි.
1991 වසරේ සිට රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වූ මෙම කටයුත්ත, 2024 වසරේදී නැකැත් කමිටුව තුළ ඇති වූ දැඩි මතභේද හේතුවෙන් අමාත්‍යවරයා විසින් එම කමිටුව විසුරුවා හැරීම දක්වා දුරදිග ගොස් තිබුණි. 2026 වර්ෂය සඳහා ද කණ්ඩායම් දෙකක් වෙන වෙනම නැකැත් ඉදිරිපත් කිරීම නිසා බලධාරීන් සිව් වතාවක්ම ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති නමුත්, පොදු එකඟතාවකට පැමිණීම දුෂ්කර වී ඇත.
කෙසේ වෙතත්, රටම බලාපොරොත්තුවෙන් සිටින මෙම ජාතික කර්තව්‍යය සඳහා තවදුරටත් අදාළ දෙපාර්ශවය සමඟ සාකච්ඡා පවත්වා, ඔවුන්ගේ ඒකාබද්ධ එකඟතාව මත සකස් කළ අවසන් නැකැත් සීට්ටුව ලබන සඳුදා (16) ජනතාව වෙත නිකුත් කරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු කරයි.














