පාසල් සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් වඩාත් විධිමත් කිරීම සඳහා “සිසු සැරිය” බස් රථ සේවාවට 2026 වසරේදී නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක් කිරීමට රජය පියවර ගෙන තිබේ. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඉසුරුපාය පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, පාසල් දරුවන්ට ආරක්ෂිතව සහ මානසික පීඩාවකින් තොරව පාසල වෙත යාමට අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ ප්‍රමුඛතාවක් බවයි. මේ වෙනුවෙන් රජය රුපියල් බිලියනයක අතිරේක මුදලක් වෙන් කර ඇති අතර, එමගින් වත්මන් සේවාව තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා මෙහිදී පෙන්වා දුන්නේ පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවා ප්‍රමිතිගත කිරීම සඳහා මෙතෙක් තිබූ නීතිමය බාධා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ අනුව, පාසල් වෑන් සහ බස් රථවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුද්ද සහ රිය සහායකයන්ගේ තොරතුරු නියාමනය කිරීම සඳහා නව අන පනත් කෙටුම්පත් වෙමින් පවතී. මෙම වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට මෙන්ම කුඩා ආරක්ෂිත වාහන හිමියන්ට ද “සිසු සැරිය” සේවාව සමඟ එක්වන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරාධනා කර සිටියි.
ප්‍රවාහන අපහසුතා ඇති සිසුන් සිටී නම්, ඒ පිළිබඳව විදුහල්පතිවරුන් මාර්ගයෙන් ළඟම ඇති ලංගම කාර්යාලය දැනුවත් කිරීමෙන් නව ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි බව ද බලධාරීහු අවධාරණය කළහ. මේ හරහා දිවයින පුරා විසිරී සිටින පාසල් දරුවන්ට වඩාත් විධිමත් සහ සුරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබා දීම රජයේ අවසන් අරමුණයි.














