මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ගුවන් යානා ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ යෑම හේතුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත සිය ගුවන් ගමන් 1,100ක් අවලංගු කිරීමට පියවර ගන්නා බව එයාර් නිව්සීලන්ඩ් සමාගම අද (12) ප්‍රකාශ කළේය. මෙය එම සමාගමේ සමස්ත ගුවන් ගමන් ප්‍රමාණයෙන් 5%ක පමණ ප්‍රතිශතයක් වන අතර, මේ හේතුවෙන් මගීන් 44,000කට පමණ සිය ගමන් සැලසුම් වෙනස් කිරීමට සිදුවනු ඇත.
එයාර් නිව්සීලන්ඩ් ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් රවිශංකර් මහතා පෙන්වා දුන්නේ මීට පෙර බැරලයක් ඩොලර් 85ක් පමණ වූ ගුවන් යානා ඉන්ධන මිල මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. අවලංගු කරන ගුවන් ගමන්වලින් බහුතරයක් නවසීලන්තය අභ්‍යන්තර ගුවන් ගමන් වුවද, ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයක් ද ඒ අතර වේ. කෙසේ වෙතත්, යුරෝපය කරා යාමට විකල්ප මාර්ගයක් ලෙස භාවිත වන බැවින් නවසීලන්තය සහ ඇමෙරිකාව අතර ගුවන් ගමන්වලට මෙයින් බලපෑමක් සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සතියේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයට ප්‍රතිචාර ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් ඉරානය සිදුකළ ප්‍රහාර මෙයට සෘජුවම බලපා තිබේ. පවතින පිරිවැය කළමනාකරණය කර ගැනීම සඳහා එයාර් නිව්සීලන්ඩ් සමාගම පසුගිය අඟහරුවාදා සියලුම ගුවන් ගමන් ගාස්තු ද ඉහළ නැංවීමට කටයුතු කළේය.














