ලබන අප්‍රේල් මාසය අවසානය දක්වා රටට අවශ්‍ය ඉන්ධන තොග අඛණ්ඩව සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ මෙම මාසය තුළ මෙරටට ළඟාවීමට නියමිතව ඇති ඉන්ධන නෞකා සියල්ල මේ වන විටත් ස්ථිර කර ඇති බවයි. අද දිනය වන විටත් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් ගොඩබාමින් පවතින අතර, එමගින් ඉදිරි දින 18ක කාලයක් සඳහා පිරිපහදු කටයුතු සිදු කිරීමට අවශ්‍ය බොරතෙල් ලැබෙනු ඇත.
ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන නෞකා 4ක් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර ඉන් පළමුවැන්න මාර්තු 14 සහ 15 දිනවලදී ඩීසල් මෙට්‍රික් ටොන් 19,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 21,000ක් රැගෙන පැමිණෙනු ඇත. අනතුරුව මාර්තු 17 සහ 18 දිනවල සිංගප්පූරුවේ සිට තවත් නෞකාවක් ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් රැගෙන ඒමට නියමිතය. මාර්තු 21 සහ 22 යන දිනවල ඉන්දියාවෙන් තවත් නෞකාවක් පැමිණෙන අතර, මාර්තු මස අවසාන දින කිහිපය තුළ ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහ සිංගප්පූරුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ක් මෙරටට ළඟාවනු ඇත.
මෙම නෞකා කිහිපයක් මේ වන විටත් අදාළ වරායන්ගෙන් ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර ඇති බවත්, එමගින් ලැබෙන තොග ලබන අප්‍රේල් මාසයේ අවසාන සතිය දක්වා ප්‍රමාණවත් වන බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ වුවද, කලින් සැලසුම් කළ පරිදි ඇනවුම් කරන ලද සියලුම නෞකා මෙරටට පැමිණෙන බැවින් ඉන්ධන පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බව ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දෙයි.














