ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම හරහා පසුගිය දින 12ක් වැනි කෙටි කාලයක් තුළ ඉරානයට අතිශය විනාශකාරී හානියක් සිදු කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. CENTCOM මූලස්ථානය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, මෙම දින 12 තුළ පමණක් ඉරානයේ යුදමය ඉලක්ක 6,000කට අධික සංඛ්‍යාවකට සාර්ථකව ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් ඉරාන ආරක්ෂක ව්‍යුහය දැඩි ලෙස අඩපණ වී ඇති බව වාර්තා වේ.
මෙම මෙහෙයුමේ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණය වන්නේ ඉරානය සතු යුද නෞකා සහ කුඩා ප්‍රහාරක යාත්‍රා 90කට අධික ප්‍රමාණයක් සහමුලින්ම විනාශ කර දැමීමට ඇමෙරිකානු ගුවන් සහ නාවික බල ඇණි සමත්වීමයි. ඉරානයේ නාවික බලය මර්දනය කිරීම ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාර හරහා පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අවට ඉරානය සතු ආධිපත්‍යය බරපතල අභියෝගයකට ලක්ව තිබේ.
මෙම ප්‍රහාර මාලාව ප්‍රධාන වශයෙන් ඉරානයේ මිසයිල ගබඩා, රේඩාර් පද්ධති සහ සන්නිවේදන මධ්‍යස්ථාන වෙත එල්ල වී ඇති බවත්, ඉරාන හමුදාවේ මෙහෙයුම් පාලනය අවුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ බවත් CENTCOM පවසයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “එපික් ෆියුරි” ලෙස නම් කරන ලද මෙම දැවැන්ත හමුදා මෙහෙයුම, ඉරානය මෙතෙක් මුහුණ දුන් දරුණුතම විදේශීය ආක්‍රමණය ලෙස යුද විශ්ලේෂකයෝ හඳුන්වා දෙති.













