මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියාන් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ කලාපීය ආතතීන් ඉහළ යාම සහ සිවිල් වැසියන්, විශේෂයෙන්ම දරුවන් ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි.
සිය නිල ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග සහ සාකච්ඡා වෙත යොමු වන ලෙස තමන් ඉරාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාවේ පවතින කැපවීම ඔහු මෙහිදී නැවත අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කරුණු දෙකක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. මැදපෙරදිග කලාපයේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තම රජයේ ප්‍රමුඛතාව බව ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. එමෙන්ම පර්සියානු බොක්කේ නෞකාවලට ප්‍රහාර එල්ල වන පසුබිමක, ජාත්‍යන්තර වෙළඳාමට සහ බලශක්ති සැපයුමට බාධාවකින් තොරව බඩු භාණ්ඩ ප්‍රවාහනය පවත්වා ගැනීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
ඉරානය විසින් යුද්ධය අවසන් කිරීමට කොන්දේසි ඉදිරිපත් කර ඇති අතරතුර, ඉන්දියාව වැනි බලවත් රාජ්‍යයක් මෙලෙස මැදිහත් වීම කලාපීය සාමය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ විශ්වාස කරති.














