ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ විල්මින්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට (ILM) එල්ල වූ බෝම්බ තර්ජනයක් හේතුවෙන් එහි පර්යන්තය වහාම ක්‍රියාත්මක වන පරිදි හිස් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. බ්‍රහස්පතින්දා පස්වරුවේ ලැබුණු මෙම තර්ජනයත් සමඟ දැඩි ආරක්ෂක පියවරක් ලෙස ගුවන් තොටුපළේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කර ඇත.
නිව් හැනෝවර් ප්‍රාන්තයේ ෂෙරිෆ් කාර්යාලයට අනුයුක්ත බෝම්බ නිශ්ක්‍රීය අංශය මේ වන විට ගුවන් තොටුපළ වෙත පැමිණ පරීක්ෂණ පවත්වමින් සිටියි. ගුවන් තොටුපළ නිලධාරීන් පවසන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම ඉවත් කිරීම සිදු කළ බවයි.
මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝකය පුරා ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන පසුබිමක, ඇමෙරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපළකට මෙවැනි තර්ජනයක් එල්ල වීම කෙරෙහි දැඩි අවධානයක් යොමු වී තිබේ. පරීක්ෂණ අවසන් වන තෙක් ගුවන් තොටුපළේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.















