නිරිතදිග ඇල්ජීරියාවට අයත් සහරා කාන්තාරයේ ඇතැම් ප්‍රදේශවලට සෙල්සියස් අංශක බිංදුවට වඩා අඩු උෂ්ණත්වයක් සමඟ හිම පතනය වී ඇති අතර, එමගින් රන්වන් පැහැති වැලි කඳු සුදු පැහැති හිම ස්ථරයකින් වැසී ගොස් තිබේ. අයින් සෙෆ්රා (Aïn Séfra) නගරය අවට ප්‍රදේශවලින් මෙම දුර්ලභ හිම පතනය වාර්තා වී ඇති අතර, මෙය ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයින් ද මවිතයට පත් කළ සිදුවීමක් විය.
ඇට්ලස් කඳු පාමුල සහරා කාන්තාරයේ උතුරු කෙළවරට වන්නට පිහිටා ඇති මෙම ප්‍රදේශයට, කලාතුරකින් ඇතුළු වන අධික ශීත වායු ධාරා හේතුවෙන් මෙලෙස හිම පතනය වීමට අවස්ථාව සැලසේ. වාර්තාවලට අනුව ගත වූ දශක හතරක කාලය තුළ මෙම ප්‍රදේශයට හිම පතනය වූ හත්වන අවස්ථාව මෙය වන අතර, 2016 වසරට පෙර එවැනි සිදුවීමක් අවසන් වරට වාර්තා වී තිබුණේ 1979 වසරේදීය.
කාන්තාරයේ දැඩි හිරු රශ්මියත් සමඟ මෙම හිම ස්ථරය ඉතා කෙටි කාලයකින් දිය වී ගියද, එම අලංකාර දර්ශනය ලොව පුරා දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය. ගෝලීය දේශගුණික විපර්යාසයන් හමුවේ මෙවැනි අසාමාන්‍ය කාලගුණික තත්ත්වයන් වාර්තා වීම විද්‍යාඥයින්ගේ ද අවධානයට ලක්ව ඇති කරුණකි.














