මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විශේෂ මැදිහත්වීමක් ආරම්භ කර තිබේ. අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සහන හඳුනා ගැනීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් විශේෂ හමුවක් පවත්වනු ලැබීය. අපනයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.
මෙම සාකච්ඡාව සඳහා රජයේ ආයතන ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ද, පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආහාර සැකසුම්කරුවන්, කුළුබඩු නිෂ්පාදකයින් මෙන්ම පලතුරු හා එළවළු අපනයනකරුවන්ගේ සංගම් ද සහභාගී විය. මීට අමතරව, පවතින ප්‍රවාහන හා සැපයුම් දාම බාධාවන් පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම්කරුවන්ගේ සංගමය සහ ලංකා නැව්ගත කිරීමේ නියෝජිතයින්ගේ සංගමය ද සිය දායකත්වය ලබා දී ඇත. අපනයන කර්මාන්තයේ ශක්තිමත්බව සුරක්ෂිත කිරීම සඳහා මෙම සියලු ආයතන එකමුතුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව මෙහිදී දැඩිව අවධාරණය කෙරුණි.
මෙහිදී අපනයනකරුවන් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩලය (EDCM) වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. විශේෂයෙන්ම තේ, කුළුබඩු, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ ආහාර පාන වැනි ප්‍රධාන අපනයන අංශ කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, පවතින කලාපීය අර්බුද හමුවේ වුවද මෙරට අපනයන ආදායම සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාවයි.














