ඉදිරියේදී එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය සහ දත්ත වංචාවන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය මෙන්ම වෙසක් සහ පොසොන් උත්සව කාලසීමාවන් තුළ මෙවැනි වංචාකාරී ක්‍රියා ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව එම සංසදය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, වසරේ ගත වූ මුල් මාස දෙක තුළ පමණක් අන්තර්ජාල වංචා සම්බන්ධ පැමිණිලි රැසක් වාර්තා වී ඇති බවයි. ව්‍යාජ වෙළෙඳ දැන්වීම්, අතිවිශාල වට්ටම්, තෑගි මුදල් හෝ “පොසොන් ඩේටා දන්සල” වැනි විවිධ ආකර්ෂණීය නාමයන් යටතේ ලැබෙන ලින්ක් (Links) මගින් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සොරා ගැනීමට වංචාකරුවන් උත්සාහ කරන බව ඔහු අවධාරණය කළේය.
මෙම අවදානමෙන් මිදීම සඳහා අන්තර්ජාලය හරහා ලැබෙන සැකකටයුතු ලින්ක් හෝ නිල නොවන වෙළෙඳ දැන්වීම් මත ක්ලික් කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වන තහවුරු නොකළ පණිවිඩ කෙරෙහි සැලකිලිමත් වීමත්, තමන්ගේ රහස්‍ය දත්ත කිසිදු බාහිර පාර්ශවයකට ලබා නොදීමටත් වගබලා ගැනීම ඉතා වැදගත් වේ.














