ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ක්‍රියාත්මක කරන ඒකාබද්ධ යුද මෙහෙයුම් හේතුවෙන් ඉරානය තුළ දැවැන්ත මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) නිවේදනය කරයි. පවතින දරුණු යුද වාතාවරණය හමුවේ මේ වන විට ඉරාන වැසියන් මිලියන 3.2කට අධික පිරිසක් සිය නිවාස අතහැර අවතැන්ව සිටින බව එම කාර්යාලය පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී අයාකි ඉටෝ සඳහන් කර ඇත්තේ, තෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා වැසියන් විශාල වශයෙන් එම ප්‍රදේශවලින් ඉවත් වෙමින් පවතින බවයි. මෙලෙස අවතැන් වන පිරිස් රටේ උතුරු ප්‍රදේශ සහ ආරක්ෂිත යැයි සැලකෙන ග්‍රාමීය කලාප වෙත සංක්‍රමණය වෙමින් පවතින බව ද වාර්තා වේ.
දිගින් දිගටම උත්සන්න වන මෙම යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූවන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර, මෙය කලාපයේ ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. විශේෂයෙන්ම ආහාර, ඖෂධ සහ තාවකාලික නවාතැන් සම්බන්ධයෙන් පවතින හිඟය හමුවේ සහන සේවා සැපයීම ද අභියෝගාත්මක වී ඇත.














