ශ්‍රී ලංකාවේ අනාගත ජාතික සංවර්ධනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පවතින ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කෙරෙන ආචාර්ය තිලංග සුමතිපාල මහතා විසින් රචිත ‘An Island of Balance’ කෘතිය පසුගියදා (12) කොළඹ විශ්වවිද්‍යාලයේදී උත්සවාකාරයෙන් එළිදක්වනු ලැබීය. විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ව්‍යාපාරික නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය, මෙරට සංවර්ධන මාවතේ නව මානයක් සනිටුහන් කළ අවස්ථාවක් විය.
මෙම ග්‍රන්ථය හරහා ආචාර්ය සුමතිපාල මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සාමාජීය පසුබෑමට හේතුව ප්‍රතිපත්තිවල හිඟකම නොව, එම ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ඒවා ප්‍රායෝගිකව ආයතනික මට්ටමින් ක්‍රියාත්මක කිරීම අතර පවතින තීරණාත්මක පරතරය බවයි. රාජ්‍ය පාලනය, ආයතනික නායකත්වය සහ රාජ්‍ය සේවය යන අංශයන් ඔස්සේ සිදුකළ ගැඹුරු විශ්ලේෂණයක් මෙම කෘතියට ඇතුළත් වේ.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සහ ලෝක බැංකුවේ නව ‘B-READY’ රාමුව (Business Ready Framework) ඇසුරින් ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය ඇගයීමට ලක් කරන මෙම කෘතිය, අනාගතය සඳහා මගහැර යා නොහැකි මාර්ග සිතියමක් ඉදිරිපත් කරයි. පැරිස් ඇමරිකානු විශ්වවිද්‍යාලයෙන් ඔහු ලබාගත් ආචාර්ය උපාධි නිබන්ධනය පදනම් කරගනිමින් රචිත මෙම කෘතිය, හුදු ශාස්ත්‍රීය ලේඛනයකට එහා ගිය ජාතික සැලැස්මක් ලෙස විද්වතුන්ගේ ඇගයීමට ලක්ව ඇත.
වගවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ මගින් ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීම අතර පරතරය පියවා ගැනීම සඳහා මෙමගින් යෝජනා ඉදිරිපත් කෙරේ. සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තරඟකාරී සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමට අවශ්‍ය ප්‍රායෝගික මඟපෙන්වීම් මෙම ‘An Island of Balance’ කෘතිය හරහා ලබා දී තිබීම විශේෂත්වයකි.















