යාපනය ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ඉන්දීය සැටලයිට් රූපවාහිනී සේවා අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පොලිසිය විසින් වටලනු ලැබ ඇති අතර එහිදී අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (12) මෙම වැටලීම් සිදුකර ඇත්තේ අවසරයකින් තොරව මෙවැනි සේවාවන් අලෙවි කරන සහ භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට කළ දැනුම්දීමකට අනුවය.
බලධාරීන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සිට ඉන්දීය සැටලයිට් රූපවාහිනී සේවා නැරඹීම හෝ ඒ සඳහා මුදල් ගෙවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. Sun Direct, Videocon, Tata Sky සහ Dish TV වැනි සේවාවන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන අතර එම උපකරණ දිවයින පුරා අලෙවි කිරීම හේතුවෙන් වසරකට රුපියල් මිලියන ගණනක මුදලක් නීතිවිරෝධී ලෙස මෙරටින් ඉන්දියාවට ඇදී යන බව නිලධාරීහු පවසති.
මෙවැනි සේවාවන් අලෙවි කරන්නන් මෙන්ම ඒවා භාවිතා කරන පාරිභෝගිකයින් ද හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පොලිසියට උපදෙස් දී ඇත. ඒ අනුව නීතිවිරෝධී ලෙස උපකරණ අලෙවි කරන වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ සහ අදාළ උපකරණ භාවිතා කරන පාරිභෝගිකයින්ට එරෙහිව නඩු පැවරීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තිබේ.














