ශ්‍රී ලංකාවේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අරමුණින්, 2024 අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුන් පිරිසකට ලොව ඉහළම පෙළේ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (12) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන, හුදු ශිෂ්‍යත්ව ප්‍රදානයකට එහා ගිය රටේ ඉදිරි දැක්ම තීරණය කරන තීරණාත්මක ආයෝජනයක් බව ඇය මෙහිදී අවධාරණය කළාය.
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ 2025 සිට 2033 දක්වා කාලය තුළ සිසුන් 200 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 4,001 ක මුදලක් වෙන් කර ඇත. මෙහි මූලික පියවර ලෙස තෝරාගත් සිසුන් 33 දෙනාගෙන් 9 දෙනෙකු මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න් සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැනි ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම්වල (QS/THE/ARWU) මුල් 500 ඇතුළත ඇති විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී සිටිති.
ශිෂ්‍යත්වලාභී එක් සිසුවෙකු වෙනුවෙන් වසර හතරක උපාධි කාලය සඳහා රුපියල් මිලියන 80 ක් දක්වා වූ දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් රජය විසින් වෙන් කරනු ලබයි. සිසුන් තෝරා ගැනීමේදී දැඩි විනිවිදභාවයකින් යුත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර ඇති අතර, ඔවුන් ලෝකයේ නව තාක්ෂණය සහ දැනුම මෙරටට ගෙන එන නව චින්තකයන් විය යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
විදේශගත වන සිසුන්ට පැමිණිය හැකි දේශගුණික, සංස්කෘතික සහ මානසික බාධක ජය ගනිමින්, ශ්‍රී ලංකාව සමාජ පරිවර්තනයක් කරා රැගෙන යාමට හැකි ශක්තිමත් නායකයන් ලෙස පෙරළා මෙරටට පැමිණෙන ලෙස ඇය ඉල්ලා සිටියාය. ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී තානාපති කාර්යාල හරහා සිසුන් වෙනුවෙන් පෙනී සිටීමට රජය සූදානම් බව ද ඇය වැඩිදුරටත් සහතික වූවාය. මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව ඇතුළු පිරිසක් සහභාගී වූහ.














