බලශක්ති ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වන වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශයේ ඉන්ධන සමාගම් දෙකක් මේ වන විට සිය සැපයුම් සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ රට තුළ නැවතත් ඉන්ධන පෝලිම් ඇතිවීම වැළැක්වීම සඳහා ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඔවුහු අවධාරණය කරති. පවතින සීමිත ඉන්ධන තොග සාධාරණ ලෙස බෙදා හැරීමට විධිමත් පාලන ක්‍රමවේදයක් නොමැති වුවහොත් ජනතාව කලබල වී අනවශ්‍ය ලෙස තෙල් රැස් කිරීමට පෙළඹිය හැකි අතර එමගින් රට නැවතත් බරපතල අර්බුදයකට ගමන් කරනු ඇතැයි වෘත්තීය සමිති අනතුරු අඟවා සිටියි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිසා ගෝලීය සැපයුම් ජාලයට එල්ල වී ඇති බාධා හමුවේ මෙවැනි විද්‍යාත්මක කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාවය තවදුරටත් තහවුරු වන බව ද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.















