මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යන බොරතෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික සංචිතයෙන් (Strategic Petroleum Reserve) තෙල් බැරල් මිලියන 172ක් මුදාහැරීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. ඉරාන-අමෙරිකානු ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ, අමෙරිකානු පාරිභෝගිකයන්ට සහ ලෝක ආර්ථිකයට එල්ල වන පීඩනය අවම කිරීම මෙම පියවරෙහි මූලික අරමුණයි.
පසුගිය දින කිහිපය තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමත් සමඟ බලශක්ති අර්බුදයක් පිළිබඳ බියක් ලොව පුරා හටගෙන තිබුණි. මෙම තත්ත්වය හමුවේ සැපයුම ස්ථාවර කිරීම සඳහා අමෙරිකාව ගත් මෙම තීරණයට සමගාමීව, රුසියානු බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ ඇතැම් සීමාවන් ලිහිල් කිරීමට ද අමෙරිකාව පියවර ගෙන ඇත. මෙය ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ මිල ගණන් යම් මට්ටමකට පහත හෙළීමට සමත් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
මෙම තීරණයත් සමඟ ඉදිරි සති කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සාපේක්ෂ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි වුවද, යුදමය තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් පවතින අභියෝගය තවදුරටත් පවතිනු ඇත. අමෙරිකාව සිය උපායමාර්ගික සංචිතයෙන් මෙවැනි දැවැන්ත ප්‍රමාණයක් මුදාහරින ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය සැලකේ.














