කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් පුද්ගල රුව සහ ස්වරූපය අනිසි ලෙස යොදා ගනිමින් නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ හෙවත් Deepfakes හඳුනාගැනීම සඳහා යූටියුබ් (YouTube) ආයතනය නව පියවරක් ගෙන තිබේ. දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම නියමු ව්‍යාපෘතිය හරහා, තම අවසරයකින් තොරව AI මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් හඳුනා ගැනීමටත් ඒවා ඉවත් කිරීමට ඉල්ලීමටත් අදාළ පුද්ගලයන්ට අවස්ථාව හිමි වේ. ප්‍රකාශන හිමිකම් පරීක්ෂා කරන පද්ධතියට සමාන තාක්ෂණයක් මෙහිදී භාවිත වන අතර, AI මගින් ප්‍රතිනිර්මාණය කරන ලද මුහුණු (Simulated faces) හඳුනා ගැනීමට එය සමත් වෙයි.
මෙම සේවාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නන් සෙල්ෆි ඡායාරූපයක් සහ රජයේ හැඳුනුම්පතක් ඉදිරිපත් කර තම අනන්‍යතාව තහවුරු කළ යුතු අතර, ඉන් අනතුරුව පද්ධතිය තුළ ඇති තමන්ගේ රුවට සමාන ව්‍යාජ වීඩියෝ නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. කෙසේ වෙතත්, වීඩියෝවක් ඉවත් කිරීමට කරන ඉල්ලීමකදී එය දේශපාලන විවේචනයක් හෝ උපහාසාත්මක නිර්මාණයක් (Parody) ද යන්න පිළිබඳව යූටියුබ් ආයතනය දැඩි ලෙස සලකා බලනු ඇත. මීට අමතරව, සංවේදී මාතෘකා සහිත AI වීඩියෝ සඳහා විශේෂිත ලේබලයක් (Label) ප්‍රදර්ශනය කිරීමට ද යූටියුබ් පියවර ගෙන ඇත්තේ ජනතාව නොමඟ යෑම වැළැක්වීමේ අරමුණිනි.
විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වය සහ ලෝක දේශපාලනයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ, අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්වීමට මෙවැනි තාක්ෂණික මෙවලම් ඉතා තීරණාත්මක වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාවේ ද ඉදිරි දේශපාලන කටයුතු සහ මැතිවරණ සමයන්හිදී මෙවැනි Deepfakes මගින් සිදුවිය හැකි බලපෑම අවම කිරීමට මෙම නව පියවර ඉවහල් වනු ඇත.














