ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා ඛමේනි ඝාතනය කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වක්‍රාකාරව තර්ජනය කර ඇති අතර කිසිදු ත්‍රස්ත නායකයෙකුට තමන් ජීවිත රක්ෂණ සහතික ලබා නොදෙන බව ඔහු අවධාරණය කර තිබේ. යුද්ධය ආරම්භ වූ දා සිට තමන් පවත්වන පළමු මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඊශ්‍රායල නායකයා සඳහන් කළේ සති දෙකකට ආසන්න කාලයක් එල්ල වූ දැඩි බෝම්බ ප්‍රහාර හමුවේ ඉරාන පාලන තන්ත්‍රය සහ එහි ආරක්ෂක බලකායන් පෙරට වඩා බෙහෙවින් දුර්වල වී ඇති බවයි. මොජ්ටාබා ඛමේනිගේ පියා වන අලි ඛමේනි ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මාර්තු 02 වැනිදා ප්‍රහාර ආරම්භ කළ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට ද දිගින් දිගටම පහර දෙන බවට ඔහු මෙහිදී ප්‍රතිඥා දුන්නේය.
නෙතන්යාහු මෙම අදහස් දක්වමින් සිටියදී පවා ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාර හේතුවෙන් මධ්‍යම ඊශ්‍රායලය පුරා අනතුරු ඇඟවීමේ සයිරන් හඬ දෝංකාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල තර්ජනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම තම ප්‍රහාරයේ මූලික අරමුණ බව ඊශ්‍රායලය පවසයි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ලෝක තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මැදපෙරදිග යුද්ධය නිසා දරුවන් 1,100කට අධික පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි. මෙම යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවට ද සෘජු බලපෑමක් එල්ල කර ඇති අතර ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ඇමෙරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන නෞකාවේ නාවිකයින්ගේ සිරුරු අද දින මත්තල ගුවන් තොටුපළ හරහා මව්රටට යැවීමට කටයුතු කිරීම ද ඒ බව මනාව පැහැදිලි කරන තවත් එක් සාධකයකි.














