ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් තවදුරටත් උත්සන්න වීමත් සමඟ, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා භාවිත කරන භූගත බංකර් (Underground bunkers) සඳහා පවතින ඉල්ලුම අතිශය ඉහළ ගොස් ඇති බව ඇමෙරිකානු බංකර් නිෂ්පාදන ආයතනයක් වන ඇට්ලස් සර්වයිවල් (Atlas Survival Shelters) හෙළිදරව් කරයි. එම ආයතනයේ නිර්මාතෘ රොන් හබ්බර්ඩ් පවසන පරිදි යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා බංකර් පිළිබඳ විමසීම් දස ගුණයකින් (Tenfold) ඉහළ ගොස් තිබේ.
වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු පවා මේ වන විට බංකර් ඇණවුම් කර ඇති බවට රොන් හබ්බර්ඩ් විසින් කර ඇති ප්‍රකාශයයි. කැබිනට් සාමාජිකයෙකු තමන් වෙත කෙටි පණිවුඩයක් එවමින් සිය බංකරය සූදානම් වන්නේ කවදාදැයි විමසූ බව ද ඔහු බ්‍රිතාන්‍යයේ ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පතට පවසා ඇත. ප්‍රකට ව්‍යාපාරිකයන් සහ බිලියනපතියන් ද ඇතුළුව විශාල පිරිසක් මෙලෙස ආරක්ෂිත බංකර් මිලදී ගැනීමට පෙළඹී සිටින්නේ යුද්ධය න්‍යෂ්ටික මට්ටමකට ව්‍යාප්ත වේදැයි පවතින බිය හේතුවෙනි.
මෙම භූගත බංකර් ඩොලර් 20,000 ක මුදලක සිට ඩොලර් මිලියන 5 ක් දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරේ. මිසයිල ප්‍රහාර, න්‍යෂ්ටික විකිරණ සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ඔරොත්තු දෙන ලෙස මේවා නිර්මාණය කර තිබේ. ඇට්ලස් ආයතනය පවසන්නේ සාමාන්‍යයෙන් මසකට ඩොලර් මිලියන 2 ක් වන තම අලෙවි වාර්තාව ලබන මාසය වන විට ඩොලර් මිලියන 50 දක්වා ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.














