ඉරානය හමුදාමය, ආර්ථික සහ අනෙකුත් සෑම අංශයකින්ම පරාජය වෙමින් පවතින බවත් ඇමෙරිකානු හමුදා ප්‍රහාර හමුවේ ඉරාන නායකත්වය සහ ඔවුන්ගේ යුද ශක්තිය “මුළුමනින්ම විනාශ වෙමින්” පවතින බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (මාර්තු 13) ප්‍රකාශ කළේය. සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ අද දිනයේ සිදුවන දේ දෙස අවධානයෙන් පසුවන ලෙසයි.
ඉරාන නාවික සහ ගුවන් හමුදාවන් මේ වන විටත් අක්‍රිය කර ඇති බවත් ඔවුන් සතු මිසයිල සහ ඩ්‍රෝන බලඇණි දැඩි ලෙස විනාශයට පත්ව ඇති බවත් ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය. ඇමෙරිකාව සතු අසමසම ගිනි බලය හමුවේ ඉරානයට තවදුරටත් හිස එසවිය නොහැකි බව පවසන ඔහු, ඉරානයේ “ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයට” එරෙහිව ඉදිරියේදී තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවීය.
පවතින යුද වාතාවරණය හමුවේ ඉරානයේ ආර්ථික ශක්තිය ද බිඳ වැටී ඇති බව පෙන්වා දෙන ට්‍රම්ප්, ඇමෙරිකානු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම උපරිම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව යළිත් සහතික කළේය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ කලාපයේ පවතින යුදමය තත්ත්වය අද දිනයේ තවදුරටත් උත්සන්න විය හැකි බවට විදෙස් දේශපාලන විචාරකයෝ මත පළ කරති.














