බටහිර රටවල් රුසියාවට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක පද්ධතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උපහාසාත්මකව ප්‍රකාශ කර තිබේ. රුසියානු ආර්ථිකය බිඳවැට්ටවීමට බටහිර ලෝකය ගත් උත්සාහය නිෂ්ඵල වී ඇති බවත්, රුසියාව දැන් වඩාත් ශක්තිමත් “ප්‍රතිශක්තියක්” ගොඩනගාගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෑතකදී මොස්කව් නුවර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පුටින් සඳහන් කළේ, බටහිර සම්බාධක රුසියාවට වඩා එම රටවලටම පාරාවළල්ලක් වී ඇති බවයි. විශේෂයෙන්ම යුරෝපයේ බලශක්ති මිල ඉහළ යාම සහ ආර්ථික අස්ථාවරත්වය මෙයට කදිම උදාහරණ බව ඔහු පෙන්වා දුන්නේය. රුසියාව සිය වෙළෙඳපොළ ආසියානු කලාපය දෙසට සාර්ථකව යොමු කර ඇති බවත්, තෙල් හා ගෑස් අපනයනය හරහා ලැබෙන ආදායම තවමත් ස්ථාවරව පවතින බවත් රුසියානු නායකයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ රුසියාවේ යුදමය වියදම් ඉහළ යාම සහ බොරතෙල් මිලෙහි පවතින උච්චාවචනයන් හමුවේ රුසියානු ආර්ථිකය ඉදිරියේදී යම් පසුබෑමකට ලක්විය හැකි බවයි. නමුත් පුටින්ගේ මෙම ප්‍රකාශය හරහා ඔහු බටහිර බලවතුන්ට පණිවුඩයක් ලබා දෙන්නේ, රුසියාව කිසිසේත් සම්බාධක හමුවේ දණ නොනමන බවයි.














