එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පවතින හදිසි වාතාවරණය සැලකිල්ලට ගනිමින්, හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කළ විට මහජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් සාජා රජයේ මාධ්‍ය කාර්යාංශය විසින් අද (මාර්තු 13) නිකුත් කරන ලදී. මෙහිදී කලබල නොවී සන්සුන්ව සිටීමේ වැදගත්කම සහ නිල රජයේ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස බලධාරීන් අවධාරණය කරයි.
නිවාස, කාර්යාල හෝ වෙනත් ගොඩනැගිලි තුළ සිටින පිරිස් සඳලුතල (Balconies), ජනේල සහ විවෘත ප්‍රදේශවලින් ඈත්ව වඩාත් ආරක්ෂිත අභ්‍යන්තර ස්ථානයකට මාරු විය යුතුය. ගොඩනැගිලිවල ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස්වලට සවන් දෙන ලෙසත්, වීදුරු මතුපිටවල් අසල රැඳී නොසිටින ලෙසත් දැනුම් දී ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මගින් තත්ත්වය ආරක්ෂිත බව තහවුරු කරන තෙක් ගොඩනැගිලි තුළම රැඳී සිටිය යුතුය.
අනතුරු ඇඟවීමක් නිකුත් වන අවස්ථාවක ඔබ එළිමහනේ සිටින්නේ නම්, වහාම ආසන්නතම ආරක්ෂිත ගොඩනැගිල්ලක් වෙත යා යුතුය. වාහන පදවන රියදුරන් කලබල නොවී වාහනය ආරක්ෂිත ස්ථානයක නවත්වා ආරක්ෂාව පතා ගොඩනැගිල්ලක් තුළට යා යුතු බව මාර්ගෝපදේශවල සඳහන් වේ.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන කටකතා, හඬ පට හෝ තහවුරු නොකළ වීඩියෝ දර්ශන හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, සිද්ධීන් සිදුවන ස්ථානවල ඡායාරූප හෝ වීඩියෝ ලබා ගැනීමෙන් සහ ඒවා ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසත්, හදිසි අවස්ථාවකදී පමණක් 999 අංකය අමතන ලෙසත් දැනුම් දී තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ ප්‍රජා සූදානම ශක්තිමත් කිරීමට සහ මහජන ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමටයි.













