පාපන්දු ලොව අතිශය උද්යෝගිමත් තරඟයක් ලෙස සැලකෙන දකුණු ඇමෙරිකානු ශූර ආර්ජන්ටිනාව සහ යුරෝපා ශූර ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිත Finalissima තරඟය මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ. ලියොනෙල් මෙසී සහ නවක තරුව ලැමීන් යාමාල් මුහුණට මුහුණ හමුවන මෙම තරඟය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙරටේ පාපන්දු සම්මේලන අතර එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම මෙයට මූලික හේතුව වී ඇත.
මුලින් මෙම තරඟය කටාර් රාජ්‍යයේ ලුසෙයිල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එය වෙනත් රටකට මාරු කිරීමට පසුගිය සතියේ තීරණය විය. ඒ අනුව රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ සන්තියාගෝ බර්නබියු (Santiago Bernabeu) ක්‍රීඩාංගණයේ තරඟය පැවැත්වීමට යෝජනා වුවද ආර්ජන්ටිනාව එය සෘජුවම ප්‍රතික්ෂේප කර තිබේ.
ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ සභාපති ක්ලෝඩියෝ ටපියා පවසන්නේ ස්පාඤ්ඤයේදී තරඟය පැවැත්වීමෙන් ඔවුන්ට අමතර වාසියක් ලැබෙන බැවින් මෙම තරඟය ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි පිහිටි ‘Estadio Monumental’ ක්‍රීඩාංගණයේ පැවැත්විය යුතු බවයි. කෙසේ වෙතත් ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් සිය රටේදී තරඟය පැවැත්වීමට තවදුරටත් දැඩි උත්සාහයක නිරත වේ.
වර්තමානයේ පවතින අර්බුදය විසඳීම සඳහා ස්පාඤ්ඤයේ බර්නබියු ක්‍රීඩාංගණයේ තරඟය පැවැත්වීම හෝ ලෙස්බන් සහ රෝමය වැනි මධ්‍යස්ථ යුරෝපීය නගරයකට තරඟය ගෙනයාම කෙරෙහි අවධානය යොමු වී ඇත. එසේම කිසිදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් තරඟය පසුවට කල් දැමීම කෙරෙහි ද අවධානය යොමුව තිබේ. ලෝක කුසලානයට පෙර මෙම තරඟය පැවැත්වීමට ස්පාඤ්ඤ පුහුණුකරු ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ දැඩි උනන්දුවක් දක්වන නමුත් පවතින ගැටලු හමුවේ තරඟය කල් දැමීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ.














