මෙරට ඇති වූ ‘දිට්වා’ (DITVA) ගංවතුර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමේ අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් මෙරටදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව වත්මන් විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත බව ‘ක්‍රික් බාස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවයට අදාළව අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් අනතුරුව මෙම විශේෂ විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය හරහා ලැබෙන ආදායම ‘දිට්වා’ සහන අරමුදලට බැර කිරීමට නියමිත අතර, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.
ආපදා අවස්ථාවකදී අසල්වැසි රටක් ලෙස ඉන්දියාව ලබා දෙන මෙම සහයෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම මානුෂීය මෙහෙයුම් සඳහා ද විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ලෝක ශූරයින්ගේ දක්ෂතා දැකබලා ගැනීමට මෙන්ම පුණ්‍ය කටයුත්තක් සඳහා දායක වීමට ද මෙයින් අවස්ථාව සැලසේ.













