පකිස්ථාන පා දඟ පන්දු යවන ක්‍රීඩක උසාමා මීර් (Usama Mir) ඊයේ (බ්‍රහස්පතින්දා) අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්, විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ පකිස්ථාන පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට සමත් විය. 2026 ජාතික විස්සයි-20 කුසලාන තරඟාවලියේදී ලාහෝර් බ්ලූස් කණ්ඩායමට එරෙහිව ලකුණු 8කට කඩුලු 6ක් දවා ගනිමින් ඔහු මෙම දක්ෂතාව ප්‍රදර්ශනය කළේය.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සොහෙල් තන්වීර් වන අතර ඔහු 2008 වසරේ පැවැති මංගල IPL තරඟාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව ලකුණු 14කට කඩුලු 6ක් දවාගෙන තිබුණි. උසාමා මීර් විසින් බිඳ දැමුවේ වසර 17ක් පුරා නොබිඳී පැවති එම වාර්තාව වන අතර පකිස්ථාන ක්‍රීඩකයන් විස්සයි-20 පිටියේ දැක්වූ හොඳම දක්ෂතා අතරට උසාමා මීර් (6/8), සොහෙල් තන්වීර් (6/14), මොහොමඩ් ඉම්රාන් (6/16), මොහොමඩ් අමීර් (6/17) සහ ෆහීම් අෂ්රෆ් (6/19) යන ක්‍රීඩකයන් ඇතුළත් වේ.
මෙම තරඟයේදී සියල්කොට් කණ්ඩායම ලබා දුන් ලකුණු 211ක ඉලක්කය හඹා ගිය ලාහෝර් බ්ලූස් කණ්ඩායම ලකුණු 100කට සීමා කිරීමට උසාමාගේ පන්දු යැවීම ප්‍රබල හේතුවක් වූ අතර එමගින් සියල්කොට් කණ්ඩායමට ලකුණු 110ක දැවැන්ත ජයක් හිමි විය. උසාමා මීර් 2023 වසරේදී ජාත්‍යන්තර වරම් ලැබූවද ඔහු මේ වන විට එංගලන්තයේ වෝර්සෙස්ටර්ෂයර් කණ්ඩායම සමඟ දීර්ඝකාලීන ගිවිසුමකට එළඹ ඇති බැවින් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ගමන තාවකාලිකව නතර වී පවතී.













