මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දරුණු යුද ගැටුම් සහ ඉන් එල්ල වන ආර්ථික බලපෑම් අවම කර ගැනීම සඳහා ඉන්දීය සාගර කලාපයේ රාජ්‍ය නායකයින් සමඟ ශ්‍රී ලංකාව නිරන්තර සංවාදයක නිරත විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වත්මන් භූ-දේශපාලනික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
කලාපීය ආරක්ෂාව පිළිබඳ අවධාරණය කරමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, ඉරාන නෞකාවක් ඉන්දීය සාගර කලාපයේදී ගිල්වා දැමීම වැනි සිදුවීම් හරහා සමුද්‍රීය ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවයි. යුරෝපා රටවල් එකිනෙකා සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කළ ද, ඉන්දීය සාගර කලාපයේ එවැනි ඒකාබද්ධ දේශපාලන දැක්මක් හෝ නිරන්තර සාකච්ඡාමය ස්වභාවයක් දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව ඔහු සඳහන් කළේය.
දේශපාලන කටයුතු, වෙළෙඳාම, ධීවර සහ දේශගුණික විපර්යාස වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගත යුතු බවත්, ඇමෙරිකාව වැනි ගෝලීය බලවතුන් කලාපීය කටයුතුවලින් ඉවත්වන පසුබිමක ඉන්දීය සාගර කලාපය සඳහාම වූ ස්වාධීන සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම ද හිටපු ජනාධිපතිවරයා සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් යෝජනා කළේය.













