මොරටුව, විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී “සුරා” නැමැති අයෙකු ත්‍රීරෝද රථයක් තුළදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ උත්සව ශාලාවක තිබී අවි ආයුධ තොගයක් අද (13) සොයාගෙන තිබේ. මොරටුමුල්ල පොලිසිය සිදුකළ මෙම මෙහෙයුමේදී අත් බෝම්බ, තියුණු ආයුධ සහ වායු රයිෆලයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මොරටුමුල්ල පොලිසිය වෙත භාරදීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් අවසරය මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් උත්සව ශාලාවේ ගබඩා කාමරය පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ හමු වී ඇත.
මෙම ඝාතනය සහ අවි ආයුධ සඟවා තබා ගැනීම සංවිධානාත්මක අපරාධ ජාලයක කොටසක් දැයි යන්න පිළිබඳව පොලිසිය දැඩි අවධානයක් යොමු කර තිබේ. “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව අපරාධකරුවන් සහ නීතිවිරෝධී අවි ආයුධ මර්දනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.













