මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය හමුවේ කටාර්, බහරේන් සහ කුවේට් යන ගල්ෆ් කලාපීය රාජ්‍යයන් සිය ගෑස් අපනයන කටයුතු සම්බන්ධයෙන් ‘අප්‍රතිහත බලපෑම්’ (Force Majeure) තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා සහ ඉරානය විසින් කලාපීය අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මෙම තීරණයට සෘජුවම බලපා ඇත.
පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මාර්තු 02 වැනිදා ‘කටාර් එනර්ජි’ (QatarEnergy) සමාගම සිය ගෑස් ද්‍රවීකරණ කටයුතු අත්හිටුවමින් නිෂ්පාදනය නතර කිරීමට පියවර ගත් අතර, ඉන් දින කිහිපයකට පසුව කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව සහ බහරේනයේ ‘බැප්කෝ එනර්ජීස්’ (Bapco Energies) සමාගම ද එම පියවරම අනුගමනය කර තිබේ. මෙම හදිසි අත්හිටුවීම ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ දැඩි කැලඹීමක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අර්බුදය හමුවේ ඉන්දියාව වැනි රටවල් සිය බලශක්ති අවශ්‍යතා කළමනාකරණය කර ගැනීම සඳහා දැනට පවතින ගෑස් තොග ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙත පමණක් සීමා කිරීමට පියවර ගෙන ඇත. ගෝලීය තෙල් සහ ගෑස් සැපයුම් දාමයට එල්ල වී ඇති මෙම දැඩි බලපෑම ඉදිරි දිනවලදී ලෝක ආර්ථිකයට බරපතල ලෙස බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.














