දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර සම්බන්ධයෙන් වන විමර්ශන උත්සන්න කරමින්, එරට පොලිසිය විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලස්ථානය වටලා පරීක්ෂණ පවත්වා තිබේ. 2024 දෙසැම්බර් 29 වන දින මුවාන් (Muan) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජේජු එයාර් (Jeju Air) 2216 ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් බැම්මක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් යානයේ සිටි 181 දෙනෙකුගෙන් 179 දෙනෙකුම ජීවිතක්ෂයට පත් විය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බෝයිං 737-800 වර්ගයේ මෙම යානය කුරුල්ලෙකුගේ ගැටීමකට (Bird strike) ලක්ව ඇති බවත්, ධාවන පථය අසල තිබූ කොන්ක්‍රීට් බැම්ම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවත්ය. කෙසේ වෙතත්, අනතුර සිදු වූ ස්ථානයෙන් මෑතකදී තවත් මළ සිරුරු කොටස් සහ මගීන්ගේ බඩුබාහිරාදිය හමු වීමත් සමඟ, ප්‍රවාහන අමාත්‍යාංශය මෙම සිදුවීම හැසිරවූ ආකාරය පිළිබඳව දැඩි සැකයක් මතු වී තිබේ.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් (Lee Jae Myung) මහතා විසින් ඊයේ (බ්‍රහස්පතින්දා) නියෝග කිරීමෙන් පසුව පොලිසිය මෙම වැටලීම සිදු කර ඇත. අනතුරෙන් දිවි ගලවා ගැනීමට සමත් වූයේ යානයේ පසුපස අසුන්ගෙන සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකු පමණි.














