මැදපෙරදිග හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ තායිලන්තයට අයත් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසු අතුරුදන්ව සිටින නාවිකයන් තිදෙනා අතර සිටින තම ඥාතියා පිළිබඳව තායිලන්තයේ වෙසෙන ඔහුගේ පවුලේ සාමාජිකයන් දැඩි කනස්සල්ලෙන් පසුවෙති. තායිලන්තයේ ඊසානදිග සුරින් ප්‍රාන්තයේ පදිංචි 58 හැවිරිදි සොම්මායි බුට්ඩී ප්‍රකාශ කරන්නේ, තම බෑණනුවන් වන 27 හැවිරිදි පානුපොන්ග් මුඑන්ටන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් පවුලේ සැම දැඩි කම්පනයට පත්ව සිටින බවයි.
නෞකාවේ එන්ජින් කාමරයේ කාර්මිකයෙකු ලෙස සේවය කළ පානුපොන්ග් ඇතුළු තිදෙනෙකු මෙම ප්‍රහාරයෙන් පසු අතුරුදන්ව තිබේ. පවුලේ ණය පියවීමට සහ සහෝදරයන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සෙවීමේ අරමුණින් ඔහු මෙම රැකියාවට ගිය බවත්, ලෝක දේශපාලනික තත්ත්වයන් පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නොතිබූ බවත් ඔහුගේ ඥාතීන් පවසති. “ඔවුන් එහි ගියේ රැකියාවක් කර ජීවත් වීමට මිස ලෝකයේ සිදුවන විශාල ගැටුම් ගැන දැනගෙන නොවෙයි” යනුවෙන් ඔහුගේ මාමා වන 70 හැවිරිදි දේචාවත් රතනපකුල් සඳහන් කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තායිලන්ත රජය දැඩි අවධානය යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයදින ලෙසත් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් බැංකොක් පාලනය ඉරානයෙන් ඉල්ලා ඇත. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ සිවිල් නාවිකයන් මෙලෙස අනතුරට ලක්වීම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද දැඩි අවධානයට ලක්ව තිබේ.














