මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ජනතාව මුහුණ දී ඇති ආර්ථික පීඩනය සමනය කිරීම සඳහා රජය උපරිම මැදිහත්වීම සිදු කරන බව වෙළඳ හා පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා අවධාරණය කරයි. අද (13) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ජාත්‍යන්තරව පවතින මෙම අර්බුදය සමනය වූ සැනින් එහි වාසිය මෙරට පාරිභෝගිකයාට ලබා දීමට රජය සූදානම් බවයි.
විශේෂයෙන්ම ගෝලීය තෙල් සහ ගෑස් මිල ඉහළ යාම හමුවේ මෙරට බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇති බවත්, එය පාලනය කිරීම සඳහා විකල්ප සැපයුම් මාර්ග කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවත් ඔහු මෙහිදී පැහැදිලි කළේය. “අපි දන්නවා ජනතාව ඉන්නේ විශාල පීඩනයක. නමුත් මේක ගෝලීය තත්ත්වයක්. යුද්ධය නතර වූ සැනින් ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අඩු කර සහන ලබා දීමට අපේ රජය පසුබට වෙන්නේ නැහැ,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අසීරු අවස්ථාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා සතොස ඇතුළු රාජ්‍ය ආයතන ශක්තිමත් කර ඇති බවත්, කළු කඩකාරයන්ට ජනතාව සූරා කෑමට ඉඩ නොදෙන බවත් ඔහු මෙහිදී සහතික විය.














