තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් දියුණු මිසයිල පද්ධති ඇතුළත් ඩොලර් බිලියන 14ක දැවැන්ත අවි ගනුදෙනුවකට අනුමැතිය ලබාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව වාර්තා වේ. මෙය තායිවානය වෙත ඇමරිකාව ලබාදෙන විශාලතම අවි ආධාර පැකේජය ලෙස සැලකෙන අතර, මෙම මස අගදී පැවැත්වීමට නියමිත ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් පසුව මෙයට නිල වශයෙන් අත්සන් තැබීමට නියමිත බව විදේශ ආරංචි මාර්ග පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡාවලට පෙර මෙම ගනුදෙනුව රහසිගතව තබා ගැනීමට ඇමරිකානු බලධාරීන් කටයුතු කර ඇත. තායිවානය සිය භූමියේ කොටසක් ලෙස සලකන චීනය, මෙවැනි අවි අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධය පළ කර ඇති අතර, ට්‍රම්ප් සහ ෂී ජින්පින් අතර මාර්තු 31 සිට අප්‍රේල් 2 දක්වා පැවැත්වෙන සාකච්ඡාවලදී ද මෙම මාතෘකාව දැඩි අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ට්‍රම්ප් පාලනය චීනය සමඟ වාසිදායක වෙළඳ ගිවිසුම්වලට එළඹීමට උත්සාහ කරන බැවින් තායිවානයට ලබාදෙන මිලිටරි සහය සීමා කරනු ඇතැයි ඇතැම් විශ්ලේෂකයෝ මත පළ කළහ. කෙසේ වෙතත්, මෙම නව අවි පැකේජය මගින් ඇමරිකාව තායිවානයට ලබාදෙන සහයෝගය තවදුරටත් ඉහළ නැංවීමට සූදානම් බවට පැහැදිලි සංඥාවක් ලබාදී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.














