සාමාන්‍යයෙන් රුපියල් 15,000ත් 30,000ත් අතර මුදලක් වැයවන, ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතික පත්‍රයක් කිසිදු ගාස්තුවකින් තොරව ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ. විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි නියැලී සිටින දක්ෂ ශිල්පීන්ගේ වෘත්තීය අභිමානය ඉහළ නැංවීම සහ ඔවුන්ට විදේශ රැකියා වෙළඳපොළ ජයගැනීමට අවශ්‍ය අඩිතාලම සැකසීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ජපානය සහ යුරෝපය වැනි ඉහළ වැටුප් සහිත රටවල රැකියා අපේක්ෂා කරන තරුණ පිරිස් සඳහා මෙම NVQ මට්ටමේ සහතිකය අත්‍යවශ්‍ය සුදුසුකමක් ලෙස සැලකේ.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ RPL (Recognition of Prior Learning) ක්‍රමය යටතේ විධිමත් අධ්‍යාපනයක් වෙනුවට තමන් සතු ප්‍රායෝගික පළපුරුද්ද මත පමණක් පදනම්ව මෙම සහතිකය ලබා ගැනීමට අවස්ථාව හිමි වීමයි. NVQ – 4 මට්ටමේ සහතික සඳහා අදාළ ක්ෂේත්‍රයේ වසර හතර හමාරක ආයතනික හෝ ස්වයං රැකියා පළපුරුද්දක් තිබීම ප්‍රමාණවත් සුදුසුකමක් ලෙස පිළිගැනේ. දැනට විදුලි කාර්මික, ජලනල, වායු සමීකරණ, පෙදරේරු, දැව පින්තාරු සහ සෝලා පද්ධති තාක්ෂණ යන ක්ෂේත්‍ර සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, උනන්දුවක් දක්වන ශිල්පීන් 2026 මාර්තු 31 දිනට පෙර සිය මූලික ලියාපදිංචිය අවසන් කළ යුතුය.














