මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය ඉන්දියාව, රුසියාව සහ චීනය සමඟ විශේෂ සාකච්ඡා ආරම්භ කර තිබේ. පවතින ගැටුම් හේතුවෙන් සාම්ප්‍රදායික සැපයුම් ජාල බිඳවැටීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, විකල්ප මාර්ග ඔස්සේ ඉන්ධන ලබාගැනීම මෙහි මූලික අරමුණයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ඉන්දියාවේ කළ සංචාරය අතරතුර එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමු වී කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇත. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා වන මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් පවතී.
එමෙන්ම, රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා තිබූ ජාත්‍යන්තර සම්බාධක ඉවත් කිරීමත් සමඟ, රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් මහතා සමඟ අද (13) දහවල් අමාත්‍යාංශයේදී හදිසි සාකච්ඡාවක් පැවැත්විණි. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ද මීට එක්ව සිටි අතර, ශ්‍රී ලංකාවේ ඉල්ලීමට රුසියානු රජයේ සහාය උපරිමයෙන් ලබාදෙන බවට තානාපතිවරයා මෙහිදී පොරොන්දු විය.
මෙයට අමතරව, චීනය වැනි කලාපීය හවුල්කරුවන් හරහා ද ආරක්ෂිත ඉන්ධන තොග පවත්වාගෙන යාමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගනිමින් සිටී. මෙමගින් ඉදිරි කාලසීමාව තුළ මෙරට පාරිභෝගිකයාට ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදු නොවන අයුරින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය බලාපොරොත්තු වේ.













