මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සමනය කිරීමේ අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඉදිරිපත් කළ විශේෂ යෝජනාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව Axios පුවත් සේවය වාර්තා කරයි. ඉරානය සතු සාරවත් කළ යුරේනියම් (Enriched Uranium) තොග රුසියාවට ගෙනයාම හරහා යුද්ධය අවසන් කිරීමේ එකඟතාවකට පැමිණීම පුටින්ගේ යෝජනාව වී තිබුණි.
මෙම සතිය මුලදී ජනාධිපතිවරුන් දෙපළ අතර පැවති දුරකථන සංවාදයකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර, ඉරානය සහ ඇමරිකාව අතර පවතින සෘජු යුද ගැටුම් නතර කිරීමට එය විසඳුමක් වනු ඇති බවට රුසියාව විශ්වාසය පළ කර ඇත. කෙසේ වෙතත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වඩාත් දැඩි කොන්දේසි සහිත ස්ථාවරයක පසුවන ට්‍රම්ප් පාලනය එම යෝජනාව පිළිගැනීමට අකමැත්ත පළ කර තිබේ.
ඇලස්කාවේ පැවති ඇමරිකා-රුසියානු සමුළුවෙන් පසුව දෙරටේ නායකයන් අතර මෙලෙස ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයක් වන අතර, මැදපෙරදිග අර්බුදය ලෝක යුද්ධයක් දක්වා ව්‍යාප්ත වීම වැළැක්වීමට රුසියාව දරන උත්සාහය මෙයින් පැහැදිලි වේ. එහෙත් යුරේනියම් තොග රුසියාවට පැවරීම මගින් ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන්ම ඉවත් නොවන බව ඇමරිකාවේ මතය වී ඇත.

















