නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයට සපයා ඇති ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික පද්ධතියට එක්විය යුතු විදුලි බලයෙන් මෙගාවොට් 130ක දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පෙන්වා දෙයි. ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම උත්පාදන වාර්තා අනුව බලාගාරයේ පවතින ජනන යන්ත්‍ර ත්‍රිත්වයම මේ වන විට සිය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට අපොහොසත් වී තිබේ.
දත්තයන්ට අනුව පළමු ඒකකය මෙගාවොට් 51ක අඩුවක් පෙන්වමින් මෙගාවොට් 219ක මට්ටමේ පවතින අතර දෙවන ඒකකය මෙගාවොට් 39ක අඩුවක් සහිතව මෙගාවොට් 231ක් ජනනය කරයි. තෙවන ඒකකයද මෙගාවොට් 40ක අඩුවක් සහිතව මෙගාවොට් 230ක් දක්වා පහත වැටී ඇති බැවින් සමස්තයක් ලෙස ජාතික පද්ධතියට මෙගාවොට් 130ක බලශක්ති ප්‍රමාණයක් අහිමි වී ඇත.
මෙම බරපතල තත්ත්වය හමුවේ වුවද රජයේ වගකිවයුතු අංශ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයා සියල්ල යහපත් බව ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක් බව රලපනාව මහතා පෙන්වා දෙයි. මෙම අර්බුදය දේශපාලනික වශයෙන් වසන් කිරීමට උත්සාහ කළද දත්ත මගින් තහවුරු වන සැබෑ තත්ත්වය වසන් කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














