එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක විධිවිධානවලට හානි වන අයුරින් සහ හමුදාමය ආක්‍රමණ උත්කර්ෂයට නංවමින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය කළ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට නීතිපති ආචාර්ය හමාඩ් සයිෆ් අල් ෂම්සි මහතා නියෝග කර තිබේ. මොවුන් සම්බන්ධයෙන් කඩිනම් නඩු විභාගයක් පවත්වන ලෙස ද නියෝග කර ඇත.
කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කරන ලද වීඩියෝ සහ අසත්‍ය තොරතුරු මඟින් මහජන නොසන්සුන්තාව ඇති කිරීමටත්, රටේ ස්ථාවරත්වය බිඳ දැමීමටත් මොවුන් උත්සාහ කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. ඩිජිටල් අවකාශය දැඩි ලෙස නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් කණ්ඩායම් තුනක් ලෙස බෙදී මෙලෙස ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් අන්තර්ගතයන් ප්‍රචාරය කර ඇති බවයි. ජාතික ආරක්ෂාව සම්බන්ධ වැදගත් කරුණුවලදී වගකීම් විරහිතව කටයුතු කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව එක්සත් අරාබි එමීර් බලධාරීහු අවධාරණය කරති.














