ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණියහ. ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් මෙරටට පැමිණි මෙම පිරිස ශ්‍රී ලංකාවේ ඉතිහාසය, බුදුදහම, ආයුර්වේදය සහ පාරම්පරික සංස්කෘතිය පිළිබඳව විශේෂ අධ්‍යයනයක නිරත වීමට නියමිතය.
ජපානය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ කොළඹ, අනුරාධපුරය, සීගිරිය ඇතුළු ඓතිහාසික නගර කේන්ද්‍ර කර ගනිමින් සංස්කෘතික උරුමයන් ජාත්‍යන්තරයට ගෙන යාම පිළිබඳව මෙහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි. ජනාධිපති කාර්යාලයට අමතරව මිහින්තලය, සීගිරිය, දඹාන සහ මල්වතු මහා විහාරය ඇතුළු සුවිශේෂී ස්ථාන රැසක් නැරඹීමට ද මෙම දූත පිරිස එක් වූ අතර, තමන් ලබා ගන්නා අත්දැකීම් ජපාන ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව ඔවුහු සහතික කළහ.














