මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ස්විට්සර්ලන්තය සිය සාම්ප්‍රදායික “නොබැඳි පිළිවෙත” (Neutrality) ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකානු හමුදා යානාවලට සිය ගුවන් සීමාව භාවිත කිරීම තහනම් කර තිබේ. ස්විට්සර්ලන්ත රජය සඳහන් කළේ ඇමරිකානු රහස් ඔත්තු බැලීමේ යානා දෙකක් සඳහා ඉදිරිපත් වූ ඉල්ලීම් අද (ඉරිදා) ප්‍රතික්ෂේප කළ බවයි.
කෙසේ වෙතත්, ප්‍රවාහන ගුවන් යානා දෙකක් ඇතුළුව වෙනත් ගුවන් ගමන් තුනක් සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන් අවසර ලබා දී ඇත. ඉරානයේ ඛාර්ග් දූපතට (Kharg Island) එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නැව් එවන ලෙස අනෙකුත් රටවලින් ඉල්ලා සිටින පසුබිමක ස්විට්සර්ලන්තය ගත් මෙම තීරණය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. සන්නද්ධ ගැටුමකදී ස්වාධීනව සිටීමේ සිය ප්‍රතිපත්තිය මෙලෙස දැඩිව ක්‍රියාත්මක කරන බව ස්විට්සර්ලන්තය වැඩිදුරටත් අවධාරණය කරයි.














