ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ‘චමිල් දේවින්ද’ හෙවත් ‘කුඩු දෙවින්ද’ නැමැති ජාවාරම්කරුගේ ප්‍රධානතම දේශීය නියෝජිතවරිය අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත් වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු විශ්වාසනීය බුද්ධි තොරතුරකට අනුව පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකාරිය කොටු කර ගෙන ඇත.
පේඩිගේ විනීතා කාන්ති නැමති මෙම සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 940ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් අසූ දහසක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. දීර්ඝ කාලයක සිට ඕස්ට්‍රේලියාවේ සිටින චමිල් දේවින්දගේ උපදෙස් මත මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවා ඇත්තේ මෙම කාන්තාව බව මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
විදෙස්ගත ජාවාරම්කරුවන් විසින් එවන ලද මත්ද්‍රව්‍ය දිවයින පුරා බෙදාහැරීම සඳහා ඇය විසින් සංවිධානාත්මක ජාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විකල්ප මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වීමට දරන උත්සාහයන් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ මේ වන විට මෙහෙයුම් දැඩි කර ඇත.
– විශේෂ වාර්තාකරුවෙකු විසිනි














