මලල ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක්: “අපේ පරමාර්ථය පළිගැනීම නොව ක්‍රීඩාව පිළිගත හැකි මට්ටමට එසවීමයි” – බිමල් විජයසිංහ
මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නව සභාපති ලෙස බිමල් විජයසිංහ මහතා වැඩභාර ගත්තේය. මාස හතක ප්‍රමාදයකින් පසු පැවැති මෙම නිලවරණයේදී ප්‍රබල ප්‍රතිවාදීන් පරදා පැහැදිලි ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කිරීමට ඔහු ප්‍රමුඛ කණ්ඩායම සමත් විය. සිය ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ නව සභාපතිවරයා අවධාරණය කළේ තම පාලනය යටතේ කිසිදු පාර්ශවයකින් පළිගැනීමට කටයුතු නොකරන අතර සියලු දෙනා ඒකරාශී කරගනිමින් මලල ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සිය එකම අරමුණ බවයි.
බිමල් විජයසිංහ මහතාගේ වැඩපිළිවෙළේ මූලිකාංගයක් වන්නේ මෙතෙක් මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්නට නොලැබුණු විධිමත් ඩිජිටල් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමයි. ක්‍රීඩකයන්ගේ ජීවදත්ත, තරග ප්‍රතිඵල සහ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කළ හැකි මෙම පද්ධතිය හරහා වඩාත් විනිවිධභාවයකින් යුත් තේරීම් පටිපාටියක් සකස් කිරීමට ඔහු අපේක්ෂා කරයි. තමන් ඉදිරිපත් කළේ හිතළු නොව ප්‍රායෝගිකව කරලා පෙන්වන්න පුළුවන් දේවල් බව පවසන ඔහු ක්‍රීඩකයන්ගේ අධ්‍යාපනය, රැකියාව සහ මානසික සෞඛ්‍යය ද සමබරව පවත්වා ගැනීමට අවශ්‍ය උපදේශන සේවා සැපයීමට ද සැලසුම් කර ඇත.
පරිපාලන කටයුතුවලදී කොළඹට සීමා නොවී දිස්ත්‍රික් සංගම් සහ ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ සමඟ සමීපව කටයුතු කිරීම නව සභාපතිවරයාගේ තවත් එක් ප්‍රධාන පොරොන්දුවකි. ඒ අනුව සෑම මාස තුනකට වරක් සභාපති සහ ලේකම් ඇතුළු ප්‍රධාන නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් සංචාරය කරමින් පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු සෘජුවම සාකච්ඡා කිරීමට නියමිතය. පාසල් මට්ටම මලල ක්‍රීඩාවේ පදනම ලෙස සලකා අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් මලල ක්‍රීඩා සංගමය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම ද මෙහි තවත් විශේෂත්වයකි.
ක්‍රීඩකයන් බිහි කරන පුහුණුකරුවන් සහ තරග පවත්වන තාක්ෂණික නිලධාරීන් වෙනුවෙන් ද නව වැඩපිළිවෙළේ ඉඩක් වෙන්ව ඇත. සියලුම දිස්ත්‍රික්කවල පුහුණු වැඩසටහන් පවත්වා ඔවුන් ශ්‍රේණිගත කිරීමත් විදේශීය විශේෂඥ පුහුණුකරුවන්ගේ දැනුම ලබා දීමත් මෙහිදී සිදු කෙරේ. විශේෂයෙන්ම දුර බැහැර පළාත්වල සිට පැමිණෙන නිලධාරීන්ගේ සුභසාධනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රජයේ සහාය මතම යැපෙන්නේ නැතිව පෞද්ගලික අංශයේ අනුග්‍රාහක දායකත්වය ලබා ගැනීමට බිමල් විජයසිංහ මහතාට ඇති වසර 40ක පළපුරුද්ද මෙහිදී විශාල පිටුවහලක් වනු ඇත. දැනටමත් මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් සහ මාලදිවයින මෙන්ම චීනය වැනි රටවල් සමඟ සාධනීය සබඳතා ගොඩනගා ගැනීමට ඔහු සමත් වී ඇත. අනුග්‍රාහකයන් තමන් සොයා එනතෙක් බලා සිටින්නේ නැතිව ඔවුන් වෙත නිසි සැලසුම් ඉදිරිපත් කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
නව සභාපතිවරයා සියල්ලන්ටම විවෘත ආරාධනයක් කරමින් පවසා සිටින්නේ මැතිවරණය දැන් අවසන් වී ඇති බැවින් තමාට ඡන්දය දුන් හෝ නොදුන් සියලු දෙනාම එකම මලල ක්‍රීඩා පවුලක් ලෙස ඉදිරියට යා යුතු බවයි. දක්ෂයාට නියම තැන ලබා දෙමින් විදග්ධ උපදේශක කමිටුවල තීරණ මත පදනම් වූ විධිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුවයි.














