ලොව වැදගත්ම නාවික ගමන් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ සැලසීම පිළිබඳව ඕනෑම රටක් සමඟ සාකච්ඡා කිරීමට තම රජය සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) මහතා ප්‍රකාශ කළේය. CBS පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ප්‍රංශය සහ ඉතාලිය වැනි යුරෝපා රටවල් මේ සම්බන්ධයෙන් ඉරානය සමඟ සාකච්ඡා පවත්වන බවට පළවන වාර්තා මධ්‍යයේ මෙම අදහස් පළ කරන බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දමා නැති නමුත්, ඇමරිකාව එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඇති වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය නිසා නෞකා ගමනාගමනය අඩාල වී ඇති බව විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. “අපි සමුද්‍ර සන්ධිය වසා දමා නැහැ. නමුත් ඇමරිකාවේ ආක්‍රමණශීලී ක්‍රියා නිසා එහි අනාරක්ෂිත බවක් නිර්මාණය වී තිබෙනවා. යම් රටවලට තම නෞකා ආරක්ෂිතව ගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අපේ හමුදාව සූදානම්,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය සති දෙක තුළ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල වූ අතර, එමගින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. මෙම තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යය, චීනය සහ ප්‍රංශය වැනි රටවලින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇත්තේ මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුධ නැව් එවීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වුවද, ඉරානය පවසන්නේ තමන් සමඟ සාකච්ඡා කිරීම මගින් මෙම අර්බුදයට විසඳුම් සෙවිය හැකි බවයි.














