ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන QR කේත ක්‍රමය හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට දැඩි බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. මැදපෙරදිග අර්බුදය හමුවේ බලශක්ති කළමනාකරණය සඳහා රජය මෙම පියවර ගෙන තිබුණද, එමඟින් නිවාරණ සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.පී. බොරලැස්ස මහතා සඳහන් කරන්නේ, යතුරුපැදියක් සඳහා සතියකට ලැබෙන පෙට්‍රල් ලීටර් 05 ක ප්‍රමාණය ක්ෂේත්‍ර රාජකාරි සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. බොහෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෛනිකව ග්‍රාම නිලධාරී කොට්ඨාස 04 සිට 10 දක්වා වූ විශාල ප්‍රදේශයක රාජකාරි කටයුතුවල නිරත වන බැවින්, මෙම ඉන්ධන සීමාව හමුවේ ඔවුන්ගේ ගමන් බිමන් සීමා කිරීමට සිදු වී තිබේ.
මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් සිදුකරන නිවාරණ සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය අතිරේක ඉන්ධන සහන ලබාදෙන ලෙස සංගමය රජයෙන් ඉල්ලා සිටියි.















